Sunday 29 December 2019

'බනාරස් ' සරසවියේ භූත විද්‍යාව පිළිබඳ පාඨමාලාවක්


උතුරු ඉන්දියාවේ 'වාරාණසී' නගරයේ පිහිටි කීර්තිමත් සරසවියක් වන 'බනාරස්' හින්දු විශ්ව විද්‍යාලය (BHU) භූත විද්‍යාව (Ghost Studies) පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කරනු ලැබ ඇත.

වෛද්‍යවරුන් සඳහා ආරම්භ කරනු ලැබ ඇති එම පාඨමාලාවේ අරමුණ භූතයන් පෙනෙන බව සහ භූතයන් වැසී ඇතැයි කියන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීමය.

පාඨමාලා කාලය මාස හයකි.

සාමාන්‍ය විද්‍යාත්මක විමර්ශන සීමාවන් ඉක්මවා ගිය අතීන්ද්‍රීය හෝ අස්වාභාවික ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන ව්‍යාකූලතා සහිත මනෝමය අවුල් සම්බන්ධයෙන් 'බනාරස්' හින්දු විශ්ව විද්‍යාලයේ (BHU) බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

ඉහත කී භූත විද්‍යා පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ බනාරස් සරසවියේ ආයුර්වේද පීඨය මගිනි. එම ආයුර්වේද පීඨය පෞරාණික හින්දු වෙදකම සහ සායනය පිළිබඳ පාඨමාලා පවත්වා ගෙන යයි.

භූත විද්‍යාව (Ghost Studies) සම්බන්ධයෙන් තම විද්‍යායතනයේ වෙනම අධ්‍යයන අංශයක් පිහිටුවා ඇතැයි 'බනාරස්' සරසවියේ නිලධාරියෙක් IANS මාධ්‍ය ආයතනයට ප්‍රකාශ කර ඇත.

"මානසික ස්වභාවය,එසේත් නැත්නම්, සිතේ ඇතිවෙන ආබාධ සහ තේරුම් ගැනීමට දුෂ්කර හේතූන් නිසා ඇතිවෙන අසනීප සහ අවුල් සහගත තත්වයන් සම්බන්ධයෙනුයි භූත විද්‍යාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ" බනාරස් සරසවියේ ආයුර්වේද පීඨාධිපති යාමිනි භුෂාන් ත්‍රිපති පවසන්නීය.

"භූතයන් සම්බන්ධ අසනීප සඳහා ආයුර්වේද ප්‍රතිකාර සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම ලබාදෙන මෙවැනි පාඨමාලාවක් හඳුන්වා දෙන පළමු ඉන්දියානු ආයතනය තම සරසවිය" යයි පීඨාධිපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ආයුර්වේද වෙදකමට පැළෑටි යොදා ගනිමින් සකස් කරන ලද ඖෂධ වර්ග (herbal medicines)භාවිතය,ආහාර රටාවේ වෙනස්කම් සිදු කරනු ලැබීම, සම්බාහනය, ආශ්වාසය -ප්‍රශ්වාසය සහ වෙනත් ශාරීරික අභ්‍යාස ආදිය ඇතුළත් වෙයි.


ඉන්දියාවේ මානසික සෞඛ්‍යය සහ ස්නායු විද්‍යා අධ්‍යයනායතනය මගින් 2016 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ඉන්දියානුවන්ගෙන් 14%කට ආසන්න ජනතාව මානසික ආබාධවලින් පෙළෙති.

ඉන්දියානුවන්ගෙන් 20 %ක් පමණ ඔවුන්ගේ ජීවිතයේ කවර හෝ අවස්ථාවක මානසික ආතතියෙන් පෙළෙනවා විය හැකි යැයි ලෝක සෞඛ්‍යය සංවිධානය(WHO) ඇස්තමේන්තු කරයි.

කෝටි 130 ක් පමණ වූ ඉන්දියානු ජනයා වෙනුවෙන් සුදුසුකම් සහිත මානසික සෞඛ්‍ය පිළිබඳ වෘත්තිකයින් එරට ඇත්තේ හාරදහසකටත් වඩා අඩු සංඛ්‍යාවකි. මානසික ව්‍යාධීන් සම්බන්ධයෙන් යොමු කෙරෙන අඩු අවධානය එමගින් පෙන්නුම් කෙරෙයි.

මානසික ව්‍යාධීන් නිසා පීඩා විඳින්නන් සමාජයේ අපවාද ආදියට ගොදුරුවෙන හෙයින් වැඩිදෙනෙක් සුදුසුකම් සහිත මනෝ වෛද්‍යවරුන් හමුවට නොයෑමේ ප්‍රශ්නයක් ද ඇත.

ඉහත කී තත්වය යටතේ විශේෂයෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සහ දිළිඳු ජනයා සිදු කරන්නේ තමන් පෙළෙන මනෝ ව්‍යාධීන් සුවකර ගැනීමේ බලාපොරොත්තුවෙන්, ඇදුරන් සහ කට්ටඩියන් වැනි තමන්ට භූතයන්ට ලංවිය හැකි යැයි කියා සිටින ඉන්ද්‍රජාලිකයන්ගේ පිහිට පැතීමය.

ඉන්දියානු ආණ්ඩුව මගින් පාලනය කරනු ලබන 'බනාරස්' හින්දු විශ්ව විද්‍යාලය(BHU)භූත විද්‍යා පාඨමාලාවක්' ආරම්භ කරනු ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රතිචාර පළවෙමින් ඇත.

ඔවුන්ගෙන් ඇතැමෙක් පෙන්වා දෙන්නේ "වෛද්‍යමය ඔසු සහ පුනරුත්ථාපනය මානසික සෞඛ්‍යයට අදාළ ගැට‍ලු සඳහා වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමය" වන බවය.

SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: